සොහොයුරු පෙම





















මේ ලියමන මේ ලෝකෙ ඉන්න හැම අයියා කෙනෙක්ට ම නංගියෙකුගේ සිතුවිල්ලෙන්...........

නංගි කෙනෙකුට අයියෙක්ගේ ආදරය මහමෙරක් තරම් වටිනවා. සමහර වෙලාවට මුලු ලෝකයක් තරම් වටිනවා මොකද අයියා කියන්නේ මහ විශාල වෘක්ෂයක් නම් ඒ වෘක්ෂය යට පැළවෙන පුංචි පැළයක් තමයි නංගි. ඒ වෘක්ෂය සෙවණේ පෝෂණය වන ආරක්ෂාව ලබන පුංචි පැළය දවසක මහ විශාල වෘක්ෂයක් වෙනවා. හැබැයි එතකොට සමහර වෙලාවට අර හෙවණ දීපු මහ වෘක්ෂය ලග නැති වෙන්න පුලුවන්. ඒත් එන  ඕනෑම සුළි කුණාටුවකට ඔරොත්තු දීලා කෙළින් ඉන්න පුංචි පැළයට මහ වෘක්ෂයක් වෙලා පුළුවන්. ඒ වගේ ම තමයි අයියගෙ ආදරය නංගිට ඒක කවදාවත් මෙහෙමයි කියන්න බෑ. ඒ තරම්ම ආදරණියයි. වෙලාවකට හරිම රළුයි. පිටට පෙන්නන්නෙත් නෑ.  හරි ආඩම්බරයි ඒත් හදවත ඇතුලේ මහ ගොඩක් ආදරය හැංගිලා තියනවා. නංගි ඒක දන්නවා. පුංචි පැළයක් වගේ ඉන්න නංගි මහ වෘක්ෂයක් වගේ ලගින් ඉන්න අයියගෙ දිහා බලාගෙන ටිකෙන් ටික ලොකු වෙනවා. ජීවිතේ යන්න  ඕන හරි පාර හැමවෙලේ ම අයියා නංගිට කියලා දෙන්නේ දැනුම් තේරුම් එන වයසෙදිමයි. අයියගෙ ආදරෙත් හරියට මහ සමුදුර වගේ හරිම නිශ්චලයි. හැබැයි ගැඹුරුයි. පරක් තෙරක් නෑ .නංගිගේ පුංචි වෙනස්වීමක් පවා අයියට දරාගන්න අමාරුයි. ඒ වෙලාවට නම් කේන්තියෙන් බණිනවා. නංගි ඇස්වල කදුළු පුරෝගන්නකම් ම බණිනවා. ඒත් ටික වෙලාවකින් ඇවිත් බලන්නේ හොරෙක් වගේ. කෙහොමින් හරි අයියා වචනයක් කතා කරපු ගමන් නංගිගේ මුණේ හිනාව දෝරෙ ගලනවා. 


මේ ලෝකේ සහෝදර බැඳිම්  ඕන තරම් තියනවා. ඒත් අයියගෙයි නංගිගෙයි බැඳීමේ විශේෂත්වයක් තියනවා කියලා හිතෙනවා. නංගිට තාත්තා ඇරුණම මේ ලෝකේ ඉන්න වැඩියෙන් ම සමීප පිරිමියා වෙන්නේ අයියා. අයියගේ දිහා බලලා තමයි නංගි ලෝකයා දිහා බලන්නෙ. අයියගෙ ලෝකෙ තියන බැරූරුම් ප‍්‍රශ්නවලට උත්තර දෙන්න නංගිට බැරි වුණාට ළගින් ඉදන් හයියක් වෙන්න නංගිට පුළුවන්. අයියගේ ප‍්‍රශ්නයක් පැය ගාණක් වුණත් අහන් ඉන්න නංගිට පුළුවන්. ඒ තරම්ම මේ බැදීම ආදරණියයි.සමීපයි.කාලයත් එක්ක අපේ ජීවිතවලට අළුත් අය එකතු වෙනවා. අයියගේ ලෝකෙටත් එහෙම කෙනෙක් ආපු දවසට අයියා පොඞ්ඩක් නංගිගෙන් ඈත් වෙනවා. එතකොට නම් නංගිට දැනෙන්නේ පුංචි ඉරිසියාවක් දුකක්. ඒත් ඉතින් කාලයක් යනකොට නංගිට තේරෙනවා අයියගේ හිතේ නංගිගෙ තැන තාමත් හරි පරෙස්සමෙන් තියනවා කියලා.


මේ ලෝකේ හැම අයියා කෙනෙක් ම නංගි කෙනෙක් ම මේ තරම්ම ආදරණිය නොවෙන්න පුළුවන්. කාර්යබහුලත්වයත් එක්ක ඒ බැඳීම් දුරස් වෙන්න පුළුවන්. ඒත්  එහෙම නොවෙන්න වගබලා ගන්නවා නම් හරිම ආදරණිය මිනිසුන් බිහි වේවි. නංගිට හැම වෙලේ ම තමන්ගෙ ලෝකයේ දිනුම් කණුව වෙන්නේ අයියා. අයියගෙ ලෝකෙ සතුටින් නම් නංගිගේ ලෝකෙත් ලස්සන වෙනවා.අයියගෙයි නංගිගෙයි ආදරය ඒ තරම්ම ශක්තිමත්. අයියට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැ කියලා තමයි නංගි හිතන් ඉන්නෙ. නංගිගේ ලෝකේ වීරයා වෙන්නෙ අයියා.


සහොදරයෙක් විතරක් නෙවෙයි තාත්තා කෙනෙක් හොදම යාලුවෙක් වගේ ලගින් ඉන්න අයියා ගැන නම් කියලා නිම කරන්න බැරි තරම්. ටිකක් දුරස් වෙලා ඉන්න මොහොතක අයියා ගැන මෙහෙම ලියන්න හිතුනත් කවදාවත් ලියලා නිම කරනන් බැරි ආදරණිය චරිතයක් තමයි අයියා. හැමදාමත් නංගිගේ හදවතේ හරි ලස්සන තැනක අයියගේ හිනා පිරිච්ච මූණ ඇඳිලා තියේවි හරිම ආදරණීය විදියට...........
                                                                                                                         උදේශි..


5 comments:

සොහොයුරු පෙම

මේ ලියමන මේ ලෝකෙ ඉන්න හැම අයියා කෙනෙක්ට ම නංගියෙකුගේ සිතුවිල්ලෙන්........... නංගි කෙනෙකුට අයියෙක්ගේ ආදරය මහමෙරක්...