අපි හැගුම්වලට ඉඩ දී මෙහොතක් .........



















අපි හැගුම්වලට ඉඩ දී මෙහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ ......... මඳ අදුරේ
අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳ පානේ......... මඳ අදුරේ

හඳ පානේ මඳ අදුරේ
අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ

හඳ පානේ මඳ අදුරේ
අත් පටලා යමු ආයේ

ගී පද    වික්ටර් රත්නායක
සංගීතය  වික්ටර් රත්නායක
ගායනය  වික්ටර් රතනායක


             ගීතය රසය ආත්මය කොටගත් මිනිස් චිත්ත සන්තානය අවදි කළ හැකි අරුම පුදුම කලා මාධ්‍යකි. මිනිසාගේ හදවතේ නොපෙනෙන අහුමුළු සොයා ඒ තුල කිසිදා වෙන් කළ නොහැකි පරිදි ආත්මීය ලෙසින් බද්ධ වෙමින් හදවත් තුළ ලැගුම් ගත හැකි අපූරු මාධ්‍යකි. සිංහල ශබ්ද කෝෂයෙහි ගීතය අර්ථ දක්වා ඇත්තේ ගායනා කළ හැකි නිබන්ධයයි.සංගීත භාණ්ඩ ඇතිව හෝ නැතිව ගායනා කරන ලද පද්‍ය විශේෂයයි. විටෙක පුද්ගලයෙකුගේ සම්පූර්ණ ජීවිත කතාව ම පද පේළි කිහිපයකින් ගීතය ගෙනහැර දක්වනිනේ රස හදවත් තව තවත් කුල්මත් කරමිනි.හදවතට රසයක් දැනෙනුයේ හැගෙනුයේ එකී ගීතය හෝ කලා මාධ්‍ය රසවත් බවින් අනූන නම් පමණි. ඒ අනුව ගීතය යනු බොහෝ සරල එනමුදු මානව හැගීම් පුදුමාකාර ලෙස අපූර්වත්වයෙන් විග්‍රහ කළ හැකි අරුම පුදුම කලාංගයකි.තවත් විටෙක ගීතය යනු කුමක්දැයි මා විමසා බැලූ විට අසන්නට ලැබුණේ අපූර්වතම වාක්‍ය ඛණ්ඩයකි. ගීතයේ විශේෂත්වය වන්නේ එය කිසිවෙකුගේ කටහඩක් සදහා ම නිර්මාණය වීමයි. සැබවින් ම එය ද ප්‍රත්‍යක්ෂ වන සනාතන කරුණකි. මන්ද ගීතය හදවතට දෙනුයේ ගීතයේ රස නිෂ්පාදක වන්නේ ගායකයා ය. ගායකයාගේ හඩින් අවදි වන ගීතය රස හදවත් ස්පර්ෂ කරනුයේ ඔහුගේ මනෝරම්‍ය හඩිනි. ගේය පද රචකයා කෙතරම් අලංකාර ලෙස පද ගොඩනැගුව ද ගායකයා එකී පද අලංකාරවත් ලෙස ගයන්නේ නැතිනම් ගීතයේ රසය කෙසේ සොයම් ද? කලාව කලාව උදෙසා නොව කලාව ජීවිතය උදෙසා ය. සැබවින් ම ජීවිතය උදෙසා කලාවක් ගොඩ නගන්නට මිනිස් හදවත් ලයාන්විත ව ස්පර්ෂ කළ හැකි විය යුතුය. කලාව තුළින් ජීවිතය දකින්නට හැකි නම් කෙතරම් සුන්දර ද?
             ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක ම අපි ඉඩදෙන්නේ අපේ හැගීම්වලට ද? බුද්ධියට ද? ඔබ ඔබෙන් විමසා බැලුව ද මා මගෙන් විමසා බැලුව ද ලැබෙනුයේ එක් පිළිතුරක් පමණි.ඒ අපි අපේ අරමුණු ඉලක්ක එක්ක ජීවිතයේ හැමදාම ඉඩ දෙන්නේ බුද්ධියට නොවෙද? බුද්ධියෙන් විමසා බලා ගන්නා තිරණ ජීවිතය නිවරදි මාවතට යොමු කරනවා යන්න අපි හැමෝගෙම විශ්වාසයයි. කාර්යබහුල ජීවිතයේ ඇත්තට ම මෙහොතකටවත් අපිට අපේ හැුගුම්වලට ඉඩ දෙන්න හැකි වේ ද? මේ ගැටළුව වෙන කිසිවක් හා නොවෙයි. අපේ ම ජීවිත හා සම්බන්ධවයි. මනසින් උසස් ජීවියෙකු ලෙස උපත ලද මිනිසා මිනිස් හැගීම් යටපත් කරනුයේ වෙනත් ග්‍රහලෝකයක සිට මේ ලෝකයට ආවා වගේ ය. ජීවිතය පුරාවටම ඇත්තටම අපි කරනුයේ අපේ හැගුම් එක්ක ගණුදෙණුවක් නොවෙ ද? හදවතේ උපදින මියයන සියදහසක් හැගීම්වලට මොනතරම් බලාපොරොත්තු සැග ව පවතින්නට ඇත
             ප්‍රේමකීර්ති ද අල්විස් නමැති අපූර්වත ම මාධ්‍යවේදියා සහෘද මිනිසා විසින් මොහොතකට අපේ ජීවිතයේ බුද්ධියට නොව හැගීමකට ඉඩ දෙන්න යැයි පවසයි. අපි ඇත්තට ම අපේ හැගුම්වලට ඉඩ ලබා දුනහොත් ජීවිතය මොන වගේ වෙයිද? මොහොතකටවත් අපේ හදවත ගමන් කළ ඒ අපූරු ඉසව්වට අප කැදවාගෙන යාමයි. සුමියුරු ස්වරයෙන් රස හදවත් සනහාලන වික්ටර් රත්නායකයන්ගේ මුවින් හා සංගීතයෙන් මනෝරම්‍ය වි ඇත්තේ එකී හැගීමයි. ඇත්තට ම අපි  අපේ ජීවිතවල බුද්ධියට හැරෙන්නට හැගීම්වලට ඉඩ දෙන්න මෙහොතකටවත් සිතා බලා තිබෙනවාද? අපේ තරාතිරම රස්සාව එසේ ම පුද්ගලයා ගොඩ නගා ගන්නා බාහිර ප්‍රතිරූපයත් එක්ක එය එසේ කළ නොහැකියි. හදවතේ හැගීම්වලින් පිරිපුන් රසකාමි මිනිසා තලා පෙලා  යටපත් කොට බුද්ධයෙන් ආරූඪ කරගත් තමන් විසින් ගොඩ නගා ගත් වෙනස් ම ආකාරයේ චරිතයක් සමාජයට පෙන්වනුයේ හැගීමකට මෙහොතකටවත් ඉඩ නොදෙමිනි.
         වික්ටර් රත්නායකයන්ගේ සුමියුරු ස්වරයෙන් ගැයෙන මෙම ගීතයේ කියවෙන්නේ හදවතේ නිරායාසයෙන් ඇති වූ  හැගීම්වලට මෙහොතකට ඉඩ දුන් අපූරු ආදරවන්තයන් දෙදෙනෙකුගේ අසම්මත ආදර අන්දරයක් හැගීම් එකිනෙක වෙන් කර අරගෙන බැලුවොත් අපි අපි දෙන්නට ම ගොඩක් ආදරෙයි. ඔබෙත් මගෙත් හැගීම් හරි අපූරුවට ගැලපෙන්නේ සංසාරගත බැදිමනට මෙන්.ඒත් අපි දෙන්නම වෙන වෙන ලෝකවල සහකරුවන් බවට පත් වෙලා තියෙන්නේ අපේ හැගීම් සිර කර ලබා මෙන් ය. ආදරේ කියන්නේ සුන්දර හීනයක් නම් ඒ හීනෙන් මට ඇහැරෙන්න ලෝබ හිතෙන්නේ ඔයාගේ ආදරෙන් මගේ හදවත පිරිලා තියන නිසයි.
             
අපි හැගුම්වලට ඉඩ දී මෙහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ ......... මඳ අදුරේ
අත් පටලා යමු ආයේ
මා ඔබෙන් ඉල්ලන්නේ ඔබේ හදවතේ ලැගුම් ගන්න එහි අයිතිකාරයා වන්න නොවෙයි. අපි මෙහොතකට අපේ හැගීම්වලට ඉඩ දීලා වියතක් තරම් පොඩි ඉඩක් වෙන් කර ගනිමු. බුද්ධිය පැත්තකින් තියලා හැගීම්වලට ඉඩ දීලා ඔබේ අත අල්ලාගෙන ගෑවි නොගෑවි කොළ හැළුණු පාලු පාරක තරු ගණන් කරමින් මද අදුරේ යන්න මමත් ආසයි.ප්‍රේමය පුද්ගලබද්ධ ව විවිධාකාර වේ. මෙම ගීතයේ සැබවින් ම ඇත්තේ උඩුපෙළ අර්ථයට වඩා යට්පෙළ අර්ථය වේ. රසික හදවතට සිතන්නට ඕනෑ තරම් ඉඩහසරක් ගේයපද රචකයා විසින් ලබා දි ඇත. සැබවින් ම හැගුම්වලට ඉඩ දෙනවා කියන්නේ එක් පැත්තකින් ප්‍රේමයේ ගිණිදැල්ල රාගය නැතහොත් ලිංගිකත්වයට ඉඩ හසරක් ලබා දීම නොවෙද? මොවුන් දෙදෙනාම විවාහක දෙදෙනෙකි. නමුත් ඔවුන්ගේ මේ හැබෑ ලෝකයට අසම්මත වූ හමුවීම තුළ රාගයේ ගිණිදැල් දැල්වෙනවා නොවෙද?මොහොතකට ඉඩ දෙමු යැයි පවසන්නේ යටිපෙළ අරුතින් බුරා බුරා නැගෙන රාගි සිතුවිල්ලකට ඉඩ දීමත් විය නොහැකිද? හඳ පාන මද අන්ධකාරයට මෙකී ලිංගික සන්තෘෂ්ටියට උදෙසා ඉගිපාන පාන සාදක නෙවේ ද. දෙදෙනෙකු ලිංගික වශයෙන් එක් විම ඔවුන් ලබන ඉහල ම සන්තෘෂ්ටියකි. මොවුන් දෙදෙනාගේ ම ජීවිතයේ අඩුවක් වී ඇත්තේ එකී සන්තෘෂ්ටිය විය හැකි නෙවෙද? එකි හැගීමට ඉඩ දෙන්න හද පානේ මද අන්ධකාරයේ අපි දෙන්නට හමුවෙන්නට ඇත්නම් ජීවිතයේ මෙතෙක් නොලද නිරාමිෂ සතුටක් ලබන්නට හැකි නොවේද?
             කළුවර ටික ටික මෝදු වෙලා අන්ධකාරය දසත වෙලා ගනිද්දී නුඹ මගේ අතින් අල්ලගෙන මා එක්ක දෙපා ගාටන්නේ හදවතේ බුර බුරා නැගෙන හැගීම්වලට මෙහොතකට ඉඩ දෙන්න නොවේවිද? දම අන්ධකාරයේ හද එළිය වැටිච්ච නුඹේ මූණෙන් මොනවදෝ රහසක් මට කියනවා වගේ දැනෙද්දි මගේ හදවතත් නුඹට මොන මොනවදෝ මුමණයි. සීතල වෙච්ච නුඹේ අත මගේ දැතේ පැටලිලා ආදරණිය උණුහුමක් හොයනවා වගේ දැනෙන්නේ මගේ අතත් ඒ තරම් ම සීතල බැවින්. ආදරයෙන් බර වුණ නුඹෙ මුහුණ උණුහුම් වෙච්ච නුඹේ සිරුර මගෙන් උණුහුම් ස්පර්ශයක් බලාපොරොත්තු වෙනවා කියලා මට දැනෙන්නේ මගේ සිරුර පුරාවටත් අපූරු ආශාවන් උඩු දුවන බැවිනි.
            ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
            මම මගෙ හෙවනැල්ලෙන් මිදී
            අවුදින් හෙමින් රහසින් මුමුණා
            හඳ පානේ......... මඳ අදුරේ

හදපාන මද අදුර අපේ රහස් සගවාගෙන සිනාසෙයි. ටිකෙන් ටික අදුර වැඩි වෙද්දි ඔබ මගේ සිරුරට තව තවත් කිටි කිටියේ ගුලි වෙද්දි අපේ හැගීම් උපරිමයට යන්නට සිතෙයි. පද රචකයා
        ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
            මම මගෙ හෙවනැල්ලෙන් මිදී
යන පද පේළියෙන් සිය දහස් ගණනක් වචනවලින් කිව නොහැකි හැගීමක් පද කිහිපයකින් හරි අපූරුවට පෙළ තබා ඇත. හෙවණල්ල කියන්නේ අපේ ජීවිතයේ අපේ පසුපස ම පවතින කිසිදා වෙන් කළ නොහැකි බැදීමක් වගේ .හෙවණැල්ලෙන් මිදෙනවා කියන්නේ එකී බැදීමෙන් මිදෙනවා යන්නයි. ගී පද රචනයේ සදහන් වන ආකාරයට රාත්‍රියේදි එක් ව උදෑසන වෙන් ව යන්නේ අසම්මත පෙම්වතුන් දෙදෙනෙකි.ඔවුන් දෙදෙනාම වෙනත් ලෝකවල සහකරුවන් වේ.විවාහක පෙම්යුවලක් වන ඔවුන් මේ හමුවන්නේ මුළු ලොවට ම රහසිනි. ඔවුන් දෙදෙනාගේ ම පසුපස සහකරුවන් සිටින බව සෙවණැල්ලක් ඔවුන් පසුපස තිබෙනවා යන්නෙන් අර්ථවත් වේ.එසේම සෙවණැල්ල යන්නෙන් තවත් අර්ථ ගණනාවක් ඉස්මතු වේ. සෙවණැල්ල අපේ පසුපසින් ගමන් කරනවා මෙන් ම සහකරුවෙක් ද නිරනතරයෙන් ඔවුන්ගේ ජීවිත පසුපසින් සිටියි.අන්ධකාරය වැඩිවත් ම සෙවණැල්ල අපෙන් ඈතට යයි.සෙවණැල්ලෙන් මිදීම යනුවෙන් රචකයා අදහස් කරනුයේ දිවා කාලය තුළ පසුපස බැදි සිටින ස්වාමිපුරුෂයාගෙන් හෝ බිරිදගෙන් මිදී ඇය හෝ ඔහු ව මුණ ගැසීමට පැමිණෙන බවයි.මොකද මේ ප්‍රේමය අසම්මතයි.ලෝකයට රහසින් සිය හැගීම්වලට ඉඩ දී ලිංගිකව එක් වන බව තවත් ලෙසකින් අර්ථ ගන්වා ගත හැකිය. එසේ ම සෙවණැලිලෙන් මිදිලා යන්නෙන් තවත් අර්ථයක් රැත හැකිය. එනම් දෙදෙනා ම දෙදෙනාගේ සෙවණැල්ලෙන් මිදෙනවා කියන්නේ එක් අයෙ බවට පත් වීමයි. ඔවුන් දෙදෙනාගේ ම හැගීම්වලට ඉඩ දී ලිංගික ව එක් වන බව ද තවත් ලෙසකින් අර්ථ ගන්වා ගත හැකි ය. හද එළිය වැටුණ රාත්‍රියක උණුසුම් හැගිම් එක්ක හමුවෙන දෙදෙනෙකු හදවතින් බුර බුරා නැගෙන රාගික සිතුවිල්ලකට ඉඩ නොදීම විය හැකිද?සෙවණැල්ලෙන් මිදිලා දෙදෙනා එක් අයෙකු බවට පත් වීම තුළ ඔවුන් කායික ව එක් ව ලිංගික සංතර්පණයක් ලබන බව ගීතයේ පද පෙළෙහි යටි අර්ථයෙන් ගම්‍යමාන වේ.
            සැබවින් ම ප්‍රේමකීර්ති ද අල්විස් නමැති අපූර්ව ගී පද රචකයා ඔහුගේ පද රචනාවන් තුළ සරල සුගම බස් වහරක් යොදන අතර අපූර්ව ලෙස ගී යටි  පෙළ අර්ථයක් මෙම ගීතය තළින් ගොඩ නගන ආකාරයක් දැකිය හැකි ය. ප්‍රේමය රාගය වැනි සිතුවිලි ක්‍රියාත්මක වනුයේ බුද්ධියෙන් නොව මිනිස් සිත තුළ උපදින මිය යන සිය දහසක් හැගීම් අතරේ රාත්‍රියේ හමු වී උදැසනින් වෙන් ව යන පෙම්වතුන් යුවළකගේ උණුහුම හැගීමකට ඉඩ දීම යනු දෙදෙනා ම සැබෑ ලෝකයට අසම්මත වු ලිංගික එක් විමක් සිදු කිරීම නොවෙද? ගීතයේ සැගවුණ යටි අර්ථය ඒ ලෙසින් ප්‍රත්‍යක්ෂ කර ගැනීම එක් ආකාරයේ බුද්ධියට වඩා හැගීම්වලට ඉඩ දීමෙන් කළ යුත්තකි.
         දෑස්වලට කදුළු උනන අපූරු  හීනයක් දෑස් මානයේ තබාගෙන හැගීම් කරගෙන හසරැල්ලෙන් මුවගට නගා ගන්න තරම් බුද්ධිමත් හදවතක් ඇත්තේ ද පුපුරු ගසන රාගික ප්‍රේමයකට වඩා සද එළිය තරම් පවිත්‍ර නිසංසල ආදරයක් හදවතේ ඇති බැවිනි. සැබවින් ම ජීවිතයේ ගත් එක් වැරදි තීරණයක් නිසා ඔවුන්ට විවාහ දිවියට එක් ව එම පුද්ගලයා සමග ජීවිතය ගෙවන්නට තීරණය කරන්නට ඇත. එය ද එක් අතකින් හැගීම්වලට නොව බුද්ධියට ඉඩ දී ගත් තීරණයක් විය නොහැකි ද? සැබෑ ජීවිතයේ හැගීම්වලට ඉඩ ලබා දුන්නේ නම් සැබෑ ආදරය ඔවුන්ට හමු වන්නට ද ඉඩ තිබුනි.
 හිරකර හසරැල්ලෙන් හැඩුම්
 අපි හිනහෙමු සපුරා පැතුම්
හසරැල්ලෙන් හැඩුම් හිර කරගන්නවා යනු පදරචකයාගේ අපූරු යෙදුමකි. කදුළු සගවා සිනා සිය හැක්කේ මේ ලෝකයේ කීයෙන් කී දෙනාට ද? වෙන් ව යන්නට සුදානම් වන මෙහොතේ දෙදෙනාගේ ම හදවතේ හැඩුමක් සිර වන්නේ ඔවුන්ගේ එක් වීම මුළු ලොවට පෙනෙන්නට කිසිදා කළ නොහැකි බැවිනි. හැගීම් සිත් දරා හමු වු සොදුරු මෙහොත අසුන්දර කරන්නට මට හැඩිය නොහැකියි. මහා වේ දනාවක් හද පතුලේ සගවාගෙන යටිතොල සපා ගනිමින් සිනා සීම අසම්මත ප්‍රේමයේ දරා ගන්නට බැරි වේදනාව කියා පෑමකි. ඇතම් විට විවාහ දිවියේ බලාපොරොත්තු වු සුවය සන්තෘෂ්ටිය ලිංගික පහස ඔවුන්ට නොලැබීම ඔවුන්ගේ මෙම අසම්මත ප්‍රේමයේ හමුවීම විය හැකිය. විවාහක දෙදෙනෙක් වන බැවින් ලිංගික සංස්පර්ෂය ඔවුන් නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නකි. එසේ වුව ද ගත පෙළාගෙන පුපුරු ගසන රාගික හැගීම්වලට ඉඩ දී සිරුරු දෙකක් එකට එක් වීම තුළ ආදරයක් පවතී ද? ආදරයෙන් බැදුණු හදවත් දෙකක් තම හැගීම්වලට ඉඩ දි ලිංගික ආශාවන් සංතර්පණය කර ගැනීම තුළ ආත්මීය බැදීමක් ඇති වේ. එසේ වුව ද

මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ
යන පද පේළියෙන් රචකයා ඉටු කරගත නොහැකි වූ සුන්දර බලාපොරොත්තුවක් පිළිබද දක්වයි. දෙදෙනෙකු ලිංගික වශයෙන් එක් වීම තුළ බොහෝ සුන්දර බලාපොරොත්තුවක් සැග ව පවතියි.ඒ ඔවුන් දෙදෙනාගේ ම ලෙයින් මසින් හැඩරුවින යුතු දරුවෙකුගේ ලැබීමයි. නමුත් ඒ සොදුරු පැතුම ඉටු කර ගැනිමට අප දෙදෙනාටම ඉඩක් නොමැති බැවින් අපි  සිනාසෙමු අපේ අනන්ත හැගුම් සගවාගෙන. සැබවින් ම ලිංගික ආශාවන් පිළිබද අමු අමුවේ ප්‍රකාශ කරන ගී පද බිහි වන සමාජයක ප්‍රේමකීර්ති ද අලවිස් මහතා ලිංගිකත්වයේ සුන්දර පැතිකඩක් බොහෝ සංවේදි සිතුවිලි රසික හදවත් තුළ ඇති කරලමින් පද පබැදුම කර ඇති අයුරු මනරම් ය.
             මේ ආත්මයේ අප දෙදෙනාට අපේ පැතුම් ඉටු කරගන්නට එක් විය නොහැකි වුව ද මතු ආත්මයේ එක් වන්නට ප්‍රාර්ථනා කරමින් ඔවුන් වෙන් ව යති.
 මතු ආත්මයේ හමුවෙන පැතුමින්
 යමු වෙන් වී හිමිදිරියේ
ඔවුන් රාත්‍රියේ මුණ ගැසී හිමිදිරියේ වෙන් ව යෑම තුළ රාත්‍රිය පුරාවට ම ඔවුන්ගේ හැගීම්වලට ඉඩ දුන් බවක් හැගවෙයි. අදුරේ මුණ ගැසි හිමිදිරියේ වෙන් න යෑම තුළ පද රචකයා වක්‍ර ව පවසන්නේ ඔවුන් දෙදෙනාගේ ලිංගික එක් වීමක් බව හැගේ. මන්ද අන්ධකාරයේ රාත්‍රිය පුරාවට හැගුම්වලින් පුපුරු ගසන හදවත් දෙකක් සිරුරු දෙකක් එකට එක් වීම ස්වාභාවික ය. සිතන්නට දහසක් දෑ රසික හදවත් වලට එක් කරමින් ගී පබැදුම පුරාවට ම මතුපිටින් පෙනෙන දකින අර්ථයට වඩා විශ්වාස කළ නොහැකි මානව සබැදියාවක් පද රචකයා ගොඩ නගා ඇත.
හඳ පානේ මඳ අදුරේ
අත් පටලා යමු ආයේ
යන පද පේළිය ගීතයේ වරින් වර යෙදිම තුළින් අසම්මත ප්‍රේමයක ලිංගික හමුවක් සිහිපත් කරයි. හදපාන මද අන්ධකාරය එකී සිදුවීමට ඉගිබිගි පාන්නකි.
               වර්තමානයේ පවතින ඇතම් ගීත ගත් විට ඒවායේ අර්ථය සොයා යාම අති දුෂ්කර කාර්යකි. නමුත් මෙම ගීතයේ ලියා තිබෙනවාට වඩා නොලියා තිබෙන දැ බොහෝය. ගී තනු නිරිමාණය මෙන් ම සංගීත නිර්මාණය වික්ටර් රත්නායකයන් සිදු කර ඇත්තේ ගීතයේ අර්ථයට ම උචිත වන පරිදි ය. හදවත් දවා අළු කරන හැගීම් උපද්දවන සංගීත ඛණ්ඩ යොදන සමාජයක වික්ටර් රත්නායක ගීතයට සංගීත රසය මුසු කර ඇත්තේ ගලා හැලෙන දිය ඇල්ලක් පරිදි ය. ගීතය කෙරෙහි සිත ඇද බැද තබා ගැනීමට තනු නිර්මාණය මෙන් ම සංගීතය ද එක සේ සමත්කම් පා ඇත. ගීතයේ රසය විදින ඕනෑම අයෙකුගේ සිත තුල බුද්ධියට ඉඩක් නොතබා සුපෙම් හැගුම් මෝදු වෙයි.නැවත නැවත ඇසිය හැකි තරම් මසිතට ද අපූර්ව හැගිමක් ඇති වුයේ ගීතයේ රසවින්දනය වඩාත් හදවත්වලට සමීප බැවිනි.
             මතුපිටින් එක් වරක් ගීතය අසන විට පහන් සිතුවිල්ලක් ලයෙහි උපදින නමුත් එකී ගීතයේ අභ්‍යන්තරයට කිදා බැස බලන විට මොනතරම් අපූරු කතාවක් එහි ලිය වී ඇත්දැයි මට සිතේ. ලිංගිකත්වය යන්න වෙළදාමක් කරගෙන ගිත රචනාවන්  රූප රචනාවන් සිදු කරන සමාජයක ලිංගිකත්වය සගවා දක්වමින් සමාජයට අපූරු අදහසක් ලබා දෙන මෙවැනි ගීත  රසවින්දනයට කිරීමට අවස්ථාවක් ලැබීම ද භාග්‍යකි. සැබවින් ම වික්ටර් රත්නායකයන්ගේ හඩින් ගැයෙන ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ගී පද ඇමිණුම එකිනෙක වෙන් කළ නොහැකි මුතු පොටක් මෙනි.ඒ තරම් රසවත් ය.  ප්‍රේමනීය හැගුම්වලට මොහොතකට ඉඩ දෙන්න ඔබේ හදවතටත් හැකි වේවි ගීතය රස විදිම තුළින්

අපි හැගුම්වලට ඉඩ දී මෙහොතක්
 ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
සැබවින් ම මේ හැගුම්වලට ඉඩ දිය යුතු කාලයයි. හදවතක් නොමැති සේ මිනිසුන් රජයන සමාජයක හදවත් ඇති මිනිසුන් බිහි වීමට එය ප්‍රමාණවත් වේ.ඒ තුලින් ගීතයේ පවසන පරිදි අසම්මත ප්‍රේමයකට ඉඩ නොලැබේවි. ඒ අනුව ඔබෙත් මගෙත් ජීවිතයේ සැග ව පවතින රහසක් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා මනරම් අයුරින් පෙළ තබා ඇත.



4 comments:

සොහොයුරු පෙම

මේ ලියමන මේ ලෝකෙ ඉන්න හැම අයියා කෙනෙක්ට ම නංගියෙකුගේ සිතුවිල්ලෙන්........... නංගි කෙනෙකුට අයියෙක්ගේ ආදරය මහමෙරක්...