ලැබීම් නොලැබීම් හමුවේ ජීවිතය

                                           
                                 


ලැබීම් සහ නොලැබීම් අපේ ජීවිතවල යම් යම් කාල වකවානුවල අඩු වැඩි වශයෙන් පවතින්නකි. දස මසක් මවු කුසයේ රැදී සිට මෙලොවට පා තැබූ දවසේ පටන් ලැබීම් හා නොලැබීම් අපේ ජීවිතවල හර සහ බැර වෙමින් දුක සතුට කඳුල වේදනාව සිනහව කැන්දා ගෙන එයි. මිනිස් ජීවියෙකු ලෙස සියලු වලින් පරිපූර්ණව උත්පත්තිය ලැබීම අප අපගේ ජීවිතයේ ලබන උතුම්ම ලැබීමයි. පෙර කළ පින් මහිමය නිසා එලෙස ලැබුනයි ඇතමෙක් පවසති. එනමුදු එලෙස නොලැබු කී දෙනෙකු නොලැබීම් හමුවේ ජීවිතයට මුහුණ දෙන්නේද
මිනිස් දරුවෙකු ලෙස මෙලොවට පා තැබූ දවසේ පටන් ජීවන ගමනේ ආරම්භය සනිටුහන් වේ. ගලන ගගකට ගල් පර බාධා කරන්නා සේ ජීවන ගංගාව හමුවේ ලැබීම් සහ නොලැබීම් ගල් පර සේ පෙරට එති. සරසවි ජීවිතයේ පා තබමින් පෙරට යන මගේ ජීවිතය තුළ මොහොතක් නැවතී ආපසු හැරී බැලුවොත් ලැබීම් සහ නොලැබීම් ජීවිතයට සරදම් කරන්නේ කෙලෙසද යන්න පසක් කර ගත හැකිය. හද්ද පිටිසර කෘෂි ගම්මානයක ගොවි පවුලක දියණියක ලෙස ජීවන ගමන ඇරඹුවෙමි. 
  තුරු හිස මුදුනේ මල් පලදා
  කැකුලු මුවට මල් පලදා
  ඒ දඩු මං බැඳ සත්කුලු පව් බිඳ
  සිදාදියට එන මං තැනුවා
පිය සෙනෙහේ එබඳු යැයි මම සිතමි. මන්ද ජීවන ගමනේ පා තබන්නට ගත් මොහොතේ ම පිය සෙනෙහස අහිමි වූයේ ජීවිතයේ විසල් නොලැබීම මා හට පසක් කර දෙමිනි. එනමුදු දස මසක් කුස හොවා රන් කිරි කට ගෑ අම්මාගේ ආදරය සෙනෙහස රැකවරණය මා ලද විසල් ලැබීමයි. අකුරෙන් අකුරට ජීවිතය කියා දුන් ඈ ලැබීම් හා නොලැබීම් හමුවේ ජීවිතයට මුහුණ දෙන්නට ශක්තිය වූවාය. ඒ මගේ කතාවයි. එසේ වුවද ඊට වඩා හාත්පසින් වෙනස් වූ කතාවන් සරසවියේ බංකුවකට වී දෑස් යොමන මට දිස් වූයේ හදවත මොහොතකට සසල කරමිනි.
උපතින් ලද දෙපා වාරු නැතිව රෝද පුටුවෙන් දේශන ශාලා වෙත යන සොහොයුරියන් දෑත් දෙකම අහිමි වුව ද කට පුරා සිනා සෙමින් දුව පනින සොහොයුරාත් ශරීරයේ වර්ධකය බාල වී තම සිරුර තමන්ට ම වාරු කරගත නොහැකි ව මෑණියනගේ දෑතේ එල්ලි සරසවියට එන සොහොයුරියත් ලෙස මෙකී නොකී සියල්ලෝම පසක් කරනුයේ නොලැබීම් හමුවේ ජීවිතය හැර දමා යා යුතු ද යන්නයි. නැත කිසිසේත්ම එසේ  නොවිය යුතු ය. දහසක් සිසුන් අතරින් තෝරා ගන්නා ලද අතළොස්සකගෙන් පිරිසක් වීම කෙතරම් ලොකු ලැබීමක් ද එලෙස තැබූ පියවර නොලැබීම් හමුවේ අතහැර නොයා ජීවිතයට අභියෝග කරන ඔවුන් සැබැවින්ම මගේ හදවතේ රැඳුණ අහිංසක වීරයෝ  වෙති. 
 සරසවියේ මා නෙත ගැටුණු හදවතේ රැදුන වරින් වර හදවත පාරන තවත් සිදුවීමක් වන්නේ තරුණ්‍යයේ එළිපත්තේ සිටින මගේ ම සහෝදරියක් ඇගේ රැකියාව ලෙස කම්කරු වෘත්තිය තෝරා ගෙන සරසවියේ සුවද දි දී පිපෙන මල් කැකුළු වලට සාත්තු කරනු දැකීමයි. දහසින් බැදි පියලි ජීවිතයට නොලැබුන ද ඇතම් විට සරසවියේ උගත් යැයි කියා ගන්නා තරුණ පිරිසට ජීවිතය ගැන කියා දෙන පුංචි ගුරුවරියකි. නේක වර්ණ සායම් ගා කළුවර කණ්ණාඩිවලින් ලෝකය දෙස බලන ඇතම් පිරිස්වලට වඩා ඇගේ  ජීවන දැක්ම  විනිවිද යැයි ඈ නෙත ගැටෙන හැම මොහොතකම මට දැනෙයි. උඩු අතට කොණ්ඩය පීරා කරලක් වන්නට ගෙතූ ඇගේ නිරන්තර සිනහව සරසවියට සිරියාවක් ගෙන දෙන්නේ යැයි මට දැනේ.

දෙවිසි හැවිරිදි මා තවමත් ජීවිතය ගැන දන්නේ අබමල් රේණුවක තරම් දෙයකි. එනමුදු ජීවිතයට මුහුණ දෙමින් අත්දැකීම් ලබන්නට පටන් ගත් මා මේ ගත කළ කෙටි කාලය තුළ පසක් කර ගත්තේ ලැබීම් නොලැබීම් ජීවිතයේ පොදු ධර්මතාවයකි. නොලැබීම් හමුවේ හඩා වැටීම් හෝ ලැබීම් හමුවේ උද්දාමයට පත් වීම නොව සියල්ල බුදු ඇසින් බලා සමව දරා ගනිමින් ජීවිතයට මුහුණ දිය යුතු බවයි. සත්තකින් ම ජීවත් වෙනවා කියලා එවිට අපට දැනෙවි.

No comments:

Post a Comment

සොහොයුරු පෙම

මේ ලියමන මේ ලෝකෙ ඉන්න හැම අයියා කෙනෙක්ට ම නංගියෙකුගේ සිතුවිල්ලෙන්........... නංගි කෙනෙකුට අයියෙක්ගේ ආදරය මහමෙරක්...