අපි හැගුම්වලට ඉඩ දී මෙහොතක් .........



















අපි හැගුම්වලට ඉඩ දී මෙහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ ......... මඳ අදුරේ
අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳ පානේ......... මඳ අදුරේ

හඳ පානේ මඳ අදුරේ
අත් පටලා යමු ආයේ

හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ

හඳ පානේ මඳ අදුරේ
අත් පටලා යමු ආයේ

ගී පද    වික්ටර් රත්නායක
සංගීතය  වික්ටර් රත්නායක
ගායනය  වික්ටර් රතනායක


             ගීතය රසය ආත්මය කොටගත් මිනිස් චිත්ත සන්තානය අවදි කළ හැකි අරුම පුදුම කලා මාධ්‍යකි. මිනිසාගේ හදවතේ නොපෙනෙන අහුමුළු සොයා ඒ තුල කිසිදා වෙන් කළ නොහැකි පරිදි ආත්මීය ලෙසින් බද්ධ වෙමින් හදවත් තුළ ලැගුම් ගත හැකි අපූරු මාධ්‍යකි. සිංහල ශබ්ද කෝෂයෙහි ගීතය අර්ථ දක්වා ඇත්තේ ගායනා කළ හැකි නිබන්ධයයි.සංගීත භාණ්ඩ ඇතිව හෝ නැතිව ගායනා කරන ලද පද්‍ය විශේෂයයි. විටෙක පුද්ගලයෙකුගේ සම්පූර්ණ ජීවිත කතාව ම පද පේළි කිහිපයකින් ගීතය ගෙනහැර දක්වනිනේ රස හදවත් තව තවත් කුල්මත් කරමිනි.හදවතට රසයක් දැනෙනුයේ හැගෙනුයේ එකී ගීතය හෝ කලා මාධ්‍ය රසවත් බවින් අනූන නම් පමණි. ඒ අනුව ගීතය යනු බොහෝ සරල එනමුදු මානව හැගීම් පුදුමාකාර ලෙස අපූර්වත්වයෙන් විග්‍රහ කළ හැකි අරුම පුදුම කලාංගයකි.තවත් විටෙක ගීතය යනු කුමක්දැයි මා විමසා බැලූ විට අසන්නට ලැබුණේ අපූර්වතම වාක්‍ය ඛණ්ඩයකි. ගීතයේ විශේෂත්වය වන්නේ එය කිසිවෙකුගේ කටහඩක් සදහා ම නිර්මාණය වීමයි. සැබවින් ම එය ද ප්‍රත්‍යක්ෂ වන සනාතන කරුණකි. මන්ද ගීතය හදවතට දෙනුයේ ගීතයේ රස නිෂ්පාදක වන්නේ ගායකයා ය. ගායකයාගේ හඩින් අවදි වන ගීතය රස හදවත් ස්පර්ෂ කරනුයේ ඔහුගේ මනෝරම්‍ය හඩිනි. ගේය පද රචකයා කෙතරම් අලංකාර ලෙස පද ගොඩනැගුව ද ගායකයා එකී පද අලංකාරවත් ලෙස ගයන්නේ නැතිනම් ගීතයේ රසය කෙසේ සොයම් ද? කලාව කලාව උදෙසා නොව කලාව ජීවිතය උදෙසා ය. සැබවින් ම ජීවිතය උදෙසා කලාවක් ගොඩ නගන්නට මිනිස් හදවත් ලයාන්විත ව ස්පර්ෂ කළ හැකි විය යුතුය. කලාව තුළින් ජීවිතය දකින්නට හැකි නම් කෙතරම් සුන්දර ද?
             ජීවිතයේ ගෙවෙන හැම තත්පරයක ම අපි ඉඩදෙන්නේ අපේ හැගීම්වලට ද? බුද්ධියට ද? ඔබ ඔබෙන් විමසා බැලුව ද මා මගෙන් විමසා බැලුව ද ලැබෙනුයේ එක් පිළිතුරක් පමණි.ඒ අපි අපේ අරමුණු ඉලක්ක එක්ක ජීවිතයේ හැමදාම ඉඩ දෙන්නේ බුද්ධියට නොවෙද? බුද්ධියෙන් විමසා බලා ගන්නා තිරණ ජීවිතය නිවරදි මාවතට යොමු කරනවා යන්න අපි හැමෝගෙම විශ්වාසයයි. කාර්යබහුල ජීවිතයේ ඇත්තට ම මෙහොතකටවත් අපිට අපේ හැුගුම්වලට ඉඩ දෙන්න හැකි වේ ද? මේ ගැටළුව වෙන කිසිවක් හා නොවෙයි. අපේ ම ජීවිත හා සම්බන්ධවයි. මනසින් උසස් ජීවියෙකු ලෙස උපත ලද මිනිසා මිනිස් හැගීම් යටපත් කරනුයේ වෙනත් ග්‍රහලෝකයක සිට මේ ලෝකයට ආවා වගේ ය. ජීවිතය පුරාවටම ඇත්තටම අපි කරනුයේ අපේ හැගුම් එක්ක ගණුදෙණුවක් නොවෙ ද? හදවතේ උපදින මියයන සියදහසක් හැගීම්වලට මොනතරම් බලාපොරොත්තු සැග ව පවතින්නට ඇත
             ප්‍රේමකීර්ති ද අල්විස් නමැති අපූර්වත ම මාධ්‍යවේදියා සහෘද මිනිසා විසින් මොහොතකට අපේ ජීවිතයේ බුද්ධියට නොව හැගීමකට ඉඩ දෙන්න යැයි පවසයි. අපි ඇත්තට ම අපේ හැගුම්වලට ඉඩ ලබා දුනහොත් ජීවිතය මොන වගේ වෙයිද? මොහොතකටවත් අපේ හදවත ගමන් කළ ඒ අපූරු ඉසව්වට අප කැදවාගෙන යාමයි. සුමියුරු ස්වරයෙන් රස හදවත් සනහාලන වික්ටර් රත්නායකයන්ගේ මුවින් හා සංගීතයෙන් මනෝරම්‍ය වි ඇත්තේ එකී හැගීමයි. ඇත්තට ම අපි  අපේ ජීවිතවල බුද්ධියට හැරෙන්නට හැගීම්වලට ඉඩ දෙන්න මෙහොතකටවත් සිතා බලා තිබෙනවාද? අපේ තරාතිරම රස්සාව එසේ ම පුද්ගලයා ගොඩ නගා ගන්නා බාහිර ප්‍රතිරූපයත් එක්ක එය එසේ කළ නොහැකියි. හදවතේ හැගීම්වලින් පිරිපුන් රසකාමි මිනිසා තලා පෙලා  යටපත් කොට බුද්ධයෙන් ආරූඪ කරගත් තමන් විසින් ගොඩ නගා ගත් වෙනස් ම ආකාරයේ චරිතයක් සමාජයට පෙන්වනුයේ හැගීමකට මෙහොතකටවත් ඉඩ නොදෙමිනි.
         වික්ටර් රත්නායකයන්ගේ සුමියුරු ස්වරයෙන් ගැයෙන මෙම ගීතයේ කියවෙන්නේ හදවතේ නිරායාසයෙන් ඇති වූ  හැගීම්වලට මෙහොතකට ඉඩ දුන් අපූරු ආදරවන්තයන් දෙදෙනෙකුගේ අසම්මත ආදර අන්දරයක් හැගීම් එකිනෙක වෙන් කර අරගෙන බැලුවොත් අපි අපි දෙන්නට ම ගොඩක් ආදරෙයි. ඔබෙත් මගෙත් හැගීම් හරි අපූරුවට ගැලපෙන්නේ සංසාරගත බැදිමනට මෙන්.ඒත් අපි දෙන්නම වෙන වෙන ලෝකවල සහකරුවන් බවට පත් වෙලා තියෙන්නේ අපේ හැගීම් සිර කර ලබා මෙන් ය. ආදරේ කියන්නේ සුන්දර හීනයක් නම් ඒ හීනෙන් මට ඇහැරෙන්න ලෝබ හිතෙන්නේ ඔයාගේ ආදරෙන් මගේ හදවත පිරිලා තියන නිසයි.
             
අපි හැගුම්වලට ඉඩ දී මෙහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ ......... මඳ අදුරේ
අත් පටලා යමු ආයේ
මා ඔබෙන් ඉල්ලන්නේ ඔබේ හදවතේ ලැගුම් ගන්න එහි අයිතිකාරයා වන්න නොවෙයි. අපි මෙහොතකට අපේ හැගීම්වලට ඉඩ දීලා වියතක් තරම් පොඩි ඉඩක් වෙන් කර ගනිමු. බුද්ධිය පැත්තකින් තියලා හැගීම්වලට ඉඩ දීලා ඔබේ අත අල්ලාගෙන ගෑවි නොගෑවි කොළ හැළුණු පාලු පාරක තරු ගණන් කරමින් මද අදුරේ යන්න මමත් ආසයි.ප්‍රේමය පුද්ගලබද්ධ ව විවිධාකාර වේ. මෙම ගීතයේ සැබවින් ම ඇත්තේ උඩුපෙළ අර්ථයට වඩා යට්පෙළ අර්ථය වේ. රසික හදවතට සිතන්නට ඕනෑ තරම් ඉඩහසරක් ගේයපද රචකයා විසින් ලබා දි ඇත. සැබවින් ම හැගුම්වලට ඉඩ දෙනවා කියන්නේ එක් පැත්තකින් ප්‍රේමයේ ගිණිදැල්ල රාගය නැතහොත් ලිංගිකත්වයට ඉඩ හසරක් ලබා දීම නොවෙද? මොවුන් දෙදෙනාම විවාහක දෙදෙනෙකි. නමුත් ඔවුන්ගේ මේ හැබෑ ලෝකයට අසම්මත වූ හමුවීම තුළ රාගයේ ගිණිදැල් දැල්වෙනවා නොවෙද?මොහොතකට ඉඩ දෙමු යැයි පවසන්නේ යටිපෙළ අරුතින් බුරා බුරා නැගෙන රාගි සිතුවිල්ලකට ඉඩ දීමත් විය නොහැකිද? හඳ පාන මද අන්ධකාරයට මෙකී ලිංගික සන්තෘෂ්ටියට උදෙසා ඉගිපාන පාන සාදක නෙවේ ද. දෙදෙනෙකු ලිංගික වශයෙන් එක් විම ඔවුන් ලබන ඉහල ම සන්තෘෂ්ටියකි. මොවුන් දෙදෙනාගේ ම ජීවිතයේ අඩුවක් වී ඇත්තේ එකී සන්තෘෂ්ටිය විය හැකි නෙවෙද? එකි හැගීමට ඉඩ දෙන්න හද පානේ මද අන්ධකාරයේ අපි දෙන්නට හමුවෙන්නට ඇත්නම් ජීවිතයේ මෙතෙක් නොලද නිරාමිෂ සතුටක් ලබන්නට හැකි නොවේද?
             කළුවර ටික ටික මෝදු වෙලා අන්ධකාරය දසත වෙලා ගනිද්දී නුඹ මගේ අතින් අල්ලගෙන මා එක්ක දෙපා ගාටන්නේ හදවතේ බුර බුරා නැගෙන හැගීම්වලට මෙහොතකට ඉඩ දෙන්න නොවේවිද? දම අන්ධකාරයේ හද එළිය වැටිච්ච නුඹේ මූණෙන් මොනවදෝ රහසක් මට කියනවා වගේ දැනෙද්දි මගේ හදවතත් නුඹට මොන මොනවදෝ මුමණයි. සීතල වෙච්ච නුඹේ අත මගේ දැතේ පැටලිලා ආදරණිය උණුහුමක් හොයනවා වගේ දැනෙන්නේ මගේ අතත් ඒ තරම් ම සීතල බැවින්. ආදරයෙන් බර වුණ නුඹෙ මුහුණ උණුහුම් වෙච්ච නුඹේ සිරුර මගෙන් උණුහුම් ස්පර්ශයක් බලාපොරොත්තු වෙනවා කියලා මට දැනෙන්නේ මගේ සිරුර පුරාවටත් අපූරු ආශාවන් උඩු දුවන බැවිනි.
            ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
            මම මගෙ හෙවනැල්ලෙන් මිදී
            අවුදින් හෙමින් රහසින් මුමුණා
            හඳ පානේ......... මඳ අදුරේ

හදපාන මද අදුර අපේ රහස් සගවාගෙන සිනාසෙයි. ටිකෙන් ටික අදුර වැඩි වෙද්දි ඔබ මගේ සිරුරට තව තවත් කිටි කිටියේ ගුලි වෙද්දි අපේ හැගීම් උපරිමයට යන්නට සිතෙයි. පද රචකයා
        ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
            මම මගෙ හෙවනැල්ලෙන් මිදී
යන පද පේළියෙන් සිය දහස් ගණනක් වචනවලින් කිව නොහැකි හැගීමක් පද කිහිපයකින් හරි අපූරුවට පෙළ තබා ඇත. හෙවණල්ල කියන්නේ අපේ ජීවිතයේ අපේ පසුපස ම පවතින කිසිදා වෙන් කළ නොහැකි බැදීමක් වගේ .හෙවණැල්ලෙන් මිදෙනවා කියන්නේ එකී බැදීමෙන් මිදෙනවා යන්නයි. ගී පද රචනයේ සදහන් වන ආකාරයට රාත්‍රියේදි එක් ව උදෑසන වෙන් ව යන්නේ අසම්මත පෙම්වතුන් දෙදෙනෙකි.ඔවුන් දෙදෙනාම වෙනත් ලෝකවල සහකරුවන් වේ.විවාහක පෙම්යුවලක් වන ඔවුන් මේ හමුවන්නේ මුළු ලොවට ම රහසිනි. ඔවුන් දෙදෙනාගේ ම පසුපස සහකරුවන් සිටින බව සෙවණැල්ලක් ඔවුන් පසුපස තිබෙනවා යන්නෙන් අර්ථවත් වේ.එසේම සෙවණැල්ල යන්නෙන් තවත් අර්ථ ගණනාවක් ඉස්මතු වේ. සෙවණැල්ල අපේ පසුපසින් ගමන් කරනවා මෙන් ම සහකරුවෙක් ද නිරනතරයෙන් ඔවුන්ගේ ජීවිත පසුපසින් සිටියි.අන්ධකාරය වැඩිවත් ම සෙවණැල්ල අපෙන් ඈතට යයි.සෙවණැල්ලෙන් මිදීම යනුවෙන් රචකයා අදහස් කරනුයේ දිවා කාලය තුළ පසුපස බැදි සිටින ස්වාමිපුරුෂයාගෙන් හෝ බිරිදගෙන් මිදී ඇය හෝ ඔහු ව මුණ ගැසීමට පැමිණෙන බවයි.මොකද මේ ප්‍රේමය අසම්මතයි.ලෝකයට රහසින් සිය හැගීම්වලට ඉඩ දී ලිංගිකව එක් වන බව තවත් ලෙසකින් අර්ථ ගන්වා ගත හැකිය. එසේ ම සෙවණැලිලෙන් මිදිලා යන්නෙන් තවත් අර්ථයක් රැත හැකිය. එනම් දෙදෙනා ම දෙදෙනාගේ සෙවණැල්ලෙන් මිදෙනවා කියන්නේ එක් අයෙ බවට පත් වීමයි. ඔවුන් දෙදෙනාගේ ම හැගීම්වලට ඉඩ දී ලිංගික ව එක් වන බව ද තවත් ලෙසකින් අර්ථ ගන්වා ගත හැකි ය. හද එළිය වැටුණ රාත්‍රියක උණුසුම් හැගිම් එක්ක හමුවෙන දෙදෙනෙකු හදවතින් බුර බුරා නැගෙන රාගික සිතුවිල්ලකට ඉඩ නොදීම විය හැකිද?සෙවණැල්ලෙන් මිදිලා දෙදෙනා එක් අයෙකු බවට පත් වීම තුළ ඔවුන් කායික ව එක් ව ලිංගික සංතර්පණයක් ලබන බව ගීතයේ පද පෙළෙහි යටි අර්ථයෙන් ගම්‍යමාන වේ.
            සැබවින් ම ප්‍රේමකීර්ති ද අල්විස් නමැති අපූර්ව ගී පද රචකයා ඔහුගේ පද රචනාවන් තුළ සරල සුගම බස් වහරක් යොදන අතර අපූර්ව ලෙස ගී යටි  පෙළ අර්ථයක් මෙම ගීතය තළින් ගොඩ නගන ආකාරයක් දැකිය හැකි ය. ප්‍රේමය රාගය වැනි සිතුවිලි ක්‍රියාත්මක වනුයේ බුද්ධියෙන් නොව මිනිස් සිත තුළ උපදින මිය යන සිය දහසක් හැගීම් අතරේ රාත්‍රියේ හමු වී උදැසනින් වෙන් ව යන පෙම්වතුන් යුවළකගේ උණුහුම හැගීමකට ඉඩ දීම යනු දෙදෙනා ම සැබෑ ලෝකයට අසම්මත වු ලිංගික එක් විමක් සිදු කිරීම නොවෙද? ගීතයේ සැගවුණ යටි අර්ථය ඒ ලෙසින් ප්‍රත්‍යක්ෂ කර ගැනීම එක් ආකාරයේ බුද්ධියට වඩා හැගීම්වලට ඉඩ දීමෙන් කළ යුත්තකි.
         දෑස්වලට කදුළු උනන අපූරු  හීනයක් දෑස් මානයේ තබාගෙන හැගීම් කරගෙන හසරැල්ලෙන් මුවගට නගා ගන්න තරම් බුද්ධිමත් හදවතක් ඇත්තේ ද පුපුරු ගසන රාගික ප්‍රේමයකට වඩා සද එළිය තරම් පවිත්‍ර නිසංසල ආදරයක් හදවතේ ඇති බැවිනි. සැබවින් ම ජීවිතයේ ගත් එක් වැරදි තීරණයක් නිසා ඔවුන්ට විවාහ දිවියට එක් ව එම පුද්ගලයා සමග ජීවිතය ගෙවන්නට තීරණය කරන්නට ඇත. එය ද එක් අතකින් හැගීම්වලට නොව බුද්ධියට ඉඩ දී ගත් තීරණයක් විය නොහැකි ද? සැබෑ ජීවිතයේ හැගීම්වලට ඉඩ ලබා දුන්නේ නම් සැබෑ ආදරය ඔවුන්ට හමු වන්නට ද ඉඩ තිබුනි.
 හිරකර හසරැල්ලෙන් හැඩුම්
 අපි හිනහෙමු සපුරා පැතුම්
හසරැල්ලෙන් හැඩුම් හිර කරගන්නවා යනු පදරචකයාගේ අපූරු යෙදුමකි. කදුළු සගවා සිනා සිය හැක්කේ මේ ලෝකයේ කීයෙන් කී දෙනාට ද? වෙන් ව යන්නට සුදානම් වන මෙහොතේ දෙදෙනාගේ ම හදවතේ හැඩුමක් සිර වන්නේ ඔවුන්ගේ එක් වීම මුළු ලොවට පෙනෙන්නට කිසිදා කළ නොහැකි බැවිනි. හැගීම් සිත් දරා හමු වු සොදුරු මෙහොත අසුන්දර කරන්නට මට හැඩිය නොහැකියි. මහා වේ දනාවක් හද පතුලේ සගවාගෙන යටිතොල සපා ගනිමින් සිනා සීම අසම්මත ප්‍රේමයේ දරා ගන්නට බැරි වේදනාව කියා පෑමකි. ඇතම් විට විවාහ දිවියේ බලාපොරොත්තු වු සුවය සන්තෘෂ්ටිය ලිංගික පහස ඔවුන්ට නොලැබීම ඔවුන්ගේ මෙම අසම්මත ප්‍රේමයේ හමුවීම විය හැකිය. විවාහක දෙදෙනෙක් වන බැවින් ලිංගික සංස්පර්ෂය ඔවුන් නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නකි. එසේ වුව ද ගත පෙළාගෙන පුපුරු ගසන රාගික හැගීම්වලට ඉඩ දී සිරුරු දෙකක් එකට එක් වීම තුළ ආදරයක් පවතී ද? ආදරයෙන් බැදුණු හදවත් දෙකක් තම හැගීම්වලට ඉඩ දි ලිංගික ආශාවන් සංතර්පණය කර ගැනීම තුළ ආත්මීය බැදීමක් ඇති වේ. එසේ වුව ද

මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ
යන පද පේළියෙන් රචකයා ඉටු කරගත නොහැකි වූ සුන්දර බලාපොරොත්තුවක් පිළිබද දක්වයි. දෙදෙනෙකු ලිංගික වශයෙන් එක් වීම තුළ බොහෝ සුන්දර බලාපොරොත්තුවක් සැග ව පවතියි.ඒ ඔවුන් දෙදෙනාගේ ම ලෙයින් මසින් හැඩරුවින යුතු දරුවෙකුගේ ලැබීමයි. නමුත් ඒ සොදුරු පැතුම ඉටු කර ගැනිමට අප දෙදෙනාටම ඉඩක් නොමැති බැවින් අපි  සිනාසෙමු අපේ අනන්ත හැගුම් සගවාගෙන. සැබවින් ම ලිංගික ආශාවන් පිළිබද අමු අමුවේ ප්‍රකාශ කරන ගී පද බිහි වන සමාජයක ප්‍රේමකීර්ති ද අලවිස් මහතා ලිංගිකත්වයේ සුන්දර පැතිකඩක් බොහෝ සංවේදි සිතුවිලි රසික හදවත් තුළ ඇති කරලමින් පද පබැදුම කර ඇති අයුරු මනරම් ය.
             මේ ආත්මයේ අප දෙදෙනාට අපේ පැතුම් ඉටු කරගන්නට එක් විය නොහැකි වුව ද මතු ආත්මයේ එක් වන්නට ප්‍රාර්ථනා කරමින් ඔවුන් වෙන් ව යති.
 මතු ආත්මයේ හමුවෙන පැතුමින්
 යමු වෙන් වී හිමිදිරියේ
ඔවුන් රාත්‍රියේ මුණ ගැසී හිමිදිරියේ වෙන් ව යෑම තුළ රාත්‍රිය පුරාවට ම ඔවුන්ගේ හැගීම්වලට ඉඩ දුන් බවක් හැගවෙයි. අදුරේ මුණ ගැසි හිමිදිරියේ වෙන් න යෑම තුළ පද රචකයා වක්‍ර ව පවසන්නේ ඔවුන් දෙදෙනාගේ ලිංගික එක් වීමක් බව හැගේ. මන්ද අන්ධකාරයේ රාත්‍රිය පුරාවට හැගුම්වලින් පුපුරු ගසන හදවත් දෙකක් සිරුරු දෙකක් එකට එක් වීම ස්වාභාවික ය. සිතන්නට දහසක් දෑ රසික හදවත් වලට එක් කරමින් ගී පබැදුම පුරාවට ම මතුපිටින් පෙනෙන දකින අර්ථයට වඩා විශ්වාස කළ නොහැකි මානව සබැදියාවක් පද රචකයා ගොඩ නගා ඇත.
හඳ පානේ මඳ අදුරේ
අත් පටලා යමු ආයේ
යන පද පේළිය ගීතයේ වරින් වර යෙදිම තුළින් අසම්මත ප්‍රේමයක ලිංගික හමුවක් සිහිපත් කරයි. හදපාන මද අන්ධකාරය එකී සිදුවීමට ඉගිබිගි පාන්නකි.
               වර්තමානයේ පවතින ඇතම් ගීත ගත් විට ඒවායේ අර්ථය සොයා යාම අති දුෂ්කර කාර්යකි. නමුත් මෙම ගීතයේ ලියා තිබෙනවාට වඩා නොලියා තිබෙන දැ බොහෝය. ගී තනු නිරිමාණය මෙන් ම සංගීත නිර්මාණය වික්ටර් රත්නායකයන් සිදු කර ඇත්තේ ගීතයේ අර්ථයට ම උචිත වන පරිදි ය. හදවත් දවා අළු කරන හැගීම් උපද්දවන සංගීත ඛණ්ඩ යොදන සමාජයක වික්ටර් රත්නායක ගීතයට සංගීත රසය මුසු කර ඇත්තේ ගලා හැලෙන දිය ඇල්ලක් පරිදි ය. ගීතය කෙරෙහි සිත ඇද බැද තබා ගැනීමට තනු නිර්මාණය මෙන් ම සංගීතය ද එක සේ සමත්කම් පා ඇත. ගීතයේ රසය විදින ඕනෑම අයෙකුගේ සිත තුල බුද්ධියට ඉඩක් නොතබා සුපෙම් හැගුම් මෝදු වෙයි.නැවත නැවත ඇසිය හැකි තරම් මසිතට ද අපූර්ව හැගිමක් ඇති වුයේ ගීතයේ රසවින්දනය වඩාත් හදවත්වලට සමීප බැවිනි.
             මතුපිටින් එක් වරක් ගීතය අසන විට පහන් සිතුවිල්ලක් ලයෙහි උපදින නමුත් එකී ගීතයේ අභ්‍යන්තරයට කිදා බැස බලන විට මොනතරම් අපූරු කතාවක් එහි ලිය වී ඇත්දැයි මට සිතේ. ලිංගිකත්වය යන්න වෙළදාමක් කරගෙන ගිත රචනාවන්  රූප රචනාවන් සිදු කරන සමාජයක ලිංගිකත්වය සගවා දක්වමින් සමාජයට අපූරු අදහසක් ලබා දෙන මෙවැනි ගීත  රසවින්දනයට කිරීමට අවස්ථාවක් ලැබීම ද භාග්‍යකි. සැබවින් ම වික්ටර් රත්නායකයන්ගේ හඩින් ගැයෙන ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ගී පද ඇමිණුම එකිනෙක වෙන් කළ නොහැකි මුතු පොටක් මෙනි.ඒ තරම් රසවත් ය.  ප්‍රේමනීය හැගුම්වලට මොහොතකට ඉඩ දෙන්න ඔබේ හදවතටත් හැකි වේවි ගීතය රස විදිම තුළින්

අපි හැගුම්වලට ඉඩ දී මෙහොතක්
 ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
සැබවින් ම මේ හැගුම්වලට ඉඩ දිය යුතු කාලයයි. හදවතක් නොමැති සේ මිනිසුන් රජයන සමාජයක හදවත් ඇති මිනිසුන් බිහි වීමට එය ප්‍රමාණවත් වේ.ඒ තුලින් ගීතයේ පවසන පරිදි අසම්මත ප්‍රේමයකට ඉඩ නොලැබේවි. ඒ අනුව ඔබෙත් මගෙත් ජීවිතයේ සැග ව පවතින රහසක් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා මනරම් අයුරින් පෙළ තබා ඇත.



කිරි දෙතොල් හිනා බිදු නවතලා......

                             

          
බසයේ කවුළුව අද්දර සිටි මට සැනෙකින් මුදු පෙයාර්ස් සුවදක් දැනුනි. හිමිදිරි උදයේ සිසිල විදගත් වන ම මම හැරී බැලීමි. අදහන්න මා ලගම අසුනක බටිති කෙල්ලක සිනාසෙන්නේ ය.ඇගේ දෙනෙත් නිල්වන් තරු ය. මුහුණ තැඹිලි පැහැගත් සද ය. ලවන් යුග ඉදී රතු වුණ චෙරිය. මම අසීමිත ආශාවෙන් ඈ දෙස බැලීමි. ඇය හිස හරවා සිනාසෙද්දී ඈ හිස මත තිබූ නිල් වන් මල දෙපසට වැනේ..කොටට කොටේ ඇදගත් බටිති ගවුම  ඕනෑවටත් වඩා හැඩ වූ නිසා මම අපමණ ලෙංගතුකමින් සිනාසීමි.

එ් දැරිය සැබවින් ම සොදුරු ය. ඇගේ මුතු වල කාන්තිය ලවන් අතරින් මෑත් වෙද්දී සියල් සිත්වල වලාකුළු පහ ව යන්නේ නොවේ ද? එහෙත් මෙම දියණිය හෙට පා නගන සමාජය කොතරම් රුදුරු වේද? මිනිස්කම නොදත් කාමාතුරයන් කී දෙනෙක් ඈ පසුපස හඹාවිද? වත්මන් සමාජයේ වන නොතේරුම් අභියස අද කෙසේ නම් ජීවිතය ගෙන යාවිද? තවමත් කිරි සුවද හමන තමා වටා ඇති බිහිසුණු ලෝකය ගැන මෙවන් දරුවන් කෙසේ අධ්‍යනයක යෙදෙන්නද? මල් කැකුළු අසීමිත ව තලා පෙලා දමන මෙවන් යුගයක අවසානය ගැන සිතන්නටවත් නොහැකි තරම් ය.

අතීතයේ මෙවැනි මව්වරුන් සිය දරුවා පාසල ඇරී එනතුරු බලා සිටින්නේ ඔවුන්ට කුසගිනි ඇතයි සිතමිනි. උන් ආ විගස සිප සනසා බත් කටක් කවා ගැනීම ඊලග අරමුණය.එහෙත් අද එසේ නැත.අද මව්වරුන් දරුවන් නිවසින් පිට වූ වෙලේ පටන් කල් මරන්නේ තම සුහුඹුල් දරුවන් යම්කිසි අපයොජනයකට ලක් වේවි දැයි බියෙනි. උදෑසන මලක් ව නිවසින් පිට වු දරුවාගේ පෙති ඉහිරවන්නට බලා සිටින රකුසු ඇස් සමාජයේ බොහෝ ය.

මේ සියල්ලට ම බලපාන යම්කිසි හේතුවක් ඇතයි මට සිතේ. සැබවින් ම මේ සමාජය වටහා ගැනීමට තරම් තරම් තීක්ෂණ බුද්ධියක්  දරුවා සතු නැත.උන්ගේ වගකීම ඇත්තේ වැඩිහිටි පරපුර අතේ ම නොවේ ද? කුඩා කල සිට ම තම දරුවාට මනා වූ සංයමයක් සමාජය ගැන දැනුමක් ලබ දිය යුත්තේ වැඩිහිටියන් විසිනි.එහෙත් මෙය මෙසේ ම සිදුවේද? නවීන තාක්ෂනයේ දියුණුවත් සමග මව්පියවරුන් යාන්තී‍්‍රකරණයට මුසු වී හමාරය.දැන් දැන් නිවසින් පිටවන්නේ පියවරුන් පමනක් ම නොවේ. දැන් දරුවන්ගේ නැළවිලි ගිත ද වෙනස් කිරීම්වලට බදුන් විය යුතු ය. මුදල් ම ජීවිතය කොටගත් ආර්ථිකයක මවුපියවරුන් ද අසරණය. නමුදු මෙම දරුවන්ගේ ජීවිත මිල කළ නොහැකි නොවේද? උදෑසනම දරුවා පිබිදීමටත් පෙර නිවසින් පිටවන් මවුපියන් නිවසට පැමිණෙනුයේ රාති‍්‍ර ඇදිරියත් සමග ය. දවසේ ම යන්ත‍්‍ර සමග හැපී එන උන්ට කුමන දරු සුරතල් ය. දවසේ ම මෙහෙකාරිය සමීපයේ වන දරුවාට කොතරම් දුරට මවුපිය සෙනෙහස හිමි ද? දිවා දවස පුරාම දරුවාගේ මනස මොන මොන දේ කෙරෙහි යොමුවන්නට ඇද්ද? මවගේ දරු නැලවිල්ල නුහුරු දරුවා ඇතම් විට නිදියන්නේ සැර වැර ගුටි බැට වලිනි. මෙය ළමා සිතට මොන තරම් පීඩනයක් ද? සියුම් ව සිදු වන මෙම ළමා අපචාරය දරුවාගේ අනාගතයට මොන අයුරින් බලපාවි ද?

බොහෝ දරුවන්ට නව සියවසේ වෙනුවට ලැබෙන්නේ මුදල් ය.තම දෙමාපියන්ගෙන් ලබනා මුදල් හරිහැටි මෙහෙයවීමට නොදත් දරුවෝ බොහෝ විට සටකපට මිනිසුන්ගේ ගොදුරු බවට පත් වෙති.ඇතම් මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට පාසල් දරුවන් නොසිදෙන උල්පත් ය. එමෙන් ම යෞවනයේ කුතුහලය පිරි ගවේෂණාත්මක සිත් ඇති දරුවන් බොහෝ පිරිසක් මුදලට විකිණෙන ගැහැණුන් පාෂයේ බැදෙන්නේ අසීමිත ව අත මුදල් ගැවසෙන නිසා ය. මුදල් ගැවසෙන දරුවා නගරයේ සැරිසරණ සුරූපිනියන්ට තවත් එක් ගණුදෙනුකරුවෙක් පමණි.

අපගේ ජීවය වන කුඩා දරුවන් මෙසේ අපචාරවලට ලක්වද්දී අපට උන් කෙරෙන් අනාගත සුබ සිහින දැකීම ද සිහිනයක් වනු ඇත.මේ නැවතී ඇති කිරි දෙතොල් වල සිනා බිදු අනාගතයේ අපගේ විනාශය කියාපාන්නේය. ඉදින් මේ පුංචි හිත් අග මොහොතකට නැවතී
               
මග හොදට තිබේ        නම්
දෑසත් හොදට තිබේ      නම්
නුඹ පරිස්සමින් පය තියපන්
බැදිවල           නොගිහින්

අද මුහුණේ පියරු උලා සුවදවත් ව සිටිනා ළමා පරපුර සතු අනාගතය එ් අයුරින් ම සුවදවත් ව උන්ට දායාද කිරීම අප වෙනුවෙන් ම අප කළ යුතු අගනා මෙහෙයක් වනු ඇත.මහැගි සිතුවිල්ල නම් මව්වරුන්ට මව්කමත් පියවරුන්ට පියකමත් වැඩිහිටියන්ට වැඩිහිටිකමත් මනා ලෙස හැසිරවීමට මුල සිට හුරු කරවීමට එසේ දඩුවම් දිමට වඩා වටිනා බව ය.

අම්මා

                                                             















දස මාසයක් දුක් විද මා බිහි කළ මගෙ                අම්මා
දුක් කරදර මැදින් දිවියට ආලෝකය දුන්            අම්මා
හරි මග යන්න සැමදා යැයි කියා දුන්න               අම්මා
ලොව මා දුටු සිත නිවෙනා එකම රුවයි              අම්මා

ඇගේ බත්පත අපට බෙදා කුසගින්නේ             උන්නා
දර ලිප ලග පැය ගණනක් ගිණි තපිමින්           උන්නා
හඩා වැටෙන හැම මොහොතෙදි ම දිරි දී ලග    උන්නා
සිනා සෙන්න හේතු කරුණු හැමවිට ගෙන        දුන්නා

මගේ ලොවේ කිරුළ පළන් රැජිණයි නුඹ            අම්මේ
ඔබෙ සෙනෙහේ අඩුවක් නැහැ මෙතුවක් කල්   දැනුනේ
දිනා වරෙන් ලෝකය යැයි කියුවේ නුඹ              අම්මේ
මගේ දිනුම ඔබෙ දිරියයි සැමදා මගේ                 අම්මේ

මගේ ලොවට පායා ආ හිරුත් සදුත්                   නුඔයි
ලොවේ තියන හොද නරකත් කියා දුන්නේ        නුඔයි
සෙත් පිරිතක් සේ හිදිමින් සෙත් පතනා             කවයි
මතු දින නුඹ බුදු වනු ඇත එය මගෙ               පැතුමයි

                                                           උදේශි..


අධ්‍යාපනයට මිලක් නියම කළ හැකි ද?


                      
















උගතමනා ශිල්පයමයි මතු රැකෙනා අප අසා ඇති පැරණි කියමනකි-මතු අනාගතය දීප්තිමත් වන්නට අප උගත්තෙකු විය යුතු ය-අධ්‍යාපනය මිනිසාගේ පොදු අවශ්‍යතාවලින් මූලික අවශ්‍යතාවයකි-සමාජයේ උගත් බුද්ධිමත් පුද්ගලයෙකු වශයෙන් කටයුතු කිරීමට නම් නිසි අධ්‍යපනයක් පුද්ගලයෙකු ලැබිය යුතු ය- 

සී ඩබ් ඩබ් කන්නන්ගර මහතා උදා කර දුන් නිදහස් අධ්‍යාපනයේ ආලෝකයෙන් සිය දහස් ගණන් දරු දැරියන්ගේ මතු අනාගතය ආලෝකමත් විය-විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙණ මුල් කර ගනිමින් දස දහස් ගණන් විද්‍යාර්ථීහු දැනුම් සම්භාරයක් ලබා ගත්හ-ඔවුහු අධ්‍යාපනයේ අගය වටිනාකම් හදුනා ගත්හ-ඒවා මතු පරම්පරාවට කියා දුන්හ-අධ්‍යාපනය යනු අප උර මත පැටවුණ වගකීමක් බව ඔවුහු පසු පරම්පරාවට කියා දුන්හ-එය රැක ගැනීමේ අයිතිය ඔවුන්ට පවරා දුන්හ- 

එකී වගකීම කරපින්නා ගත් ලාංකේය සරසවි ශිෂ්‍ය ප්‍රජාව වගකීම් ඉටු කරන්නට යාමේදි අද ලැබෙන්නේ බැටන් පොලු ප්‍රහාරයි- නැතහොත් කදුළු ගෑස් ප්‍රහාරයි- නූතනයේ අධ්‍යාපනයේ අගය හරිහැටි නොදත් ඇතම් මුග්ධ පාලකයෝ අධ්‍යපනයට මිලක් නියම කරති- හාස්‍යට බදුන් වන කරුණ අධ්‍යපනයට මිලක් නියම කිරීමට තරම් අධ්‍යාපනයක් එවැන්නන් සතු දැයි යන්නයි- නිදහස් අධ්‍යාපනය සුරැකීම අප සතු යුතුකමක් නොව එය අප උර මත පැටවුණ වගකීමකි- සරසවියේ බිත්ති පුරා ලොකු අකුරින් ලියා ඇති එම පාඨය දැක දැකත් දෑස් නොපෙනන අයෙකු සේ සිටිය හැකි නම් අද සරසවි ප්‍රජාව හා රජය අතර ගැටුම් නැත- වෛද්‍ය උපාධියට මුදලක් නියම කිරීම තුළ වෛද්‍ය වෘත්තියට ඇති වටිනාකම සමාජයේ අද කොතැනද? අතීතයේ ජීවකයන්ගේ රාජකාරිය මිල නොවූ අමිල සේවාවකි- රට පුරා රෝගි ජනයාගේ ජීවිත අවධානමේ හෙළමින් මුදල පසුපස යමින්  ඇත්තාට ඇති හැකි අයුරින් සලකන සමාජය අධ්‍යාපනයට මිලක් නියම කිරීම අරුමයක් ද නොවේ-

අහිමි පෙම


                                 
                               



                           

                                    











මහමෙරකට ආදරයක් හිතේ හිර         කරන්

මා සිටියා ඔය රුව දැක කදුළු හිර        කරන්

හිමි නැති පෙම ලුහු බැද බැද දුක් විදින තරම්

දුටු මගෙ සිත බිදුනා සිය දහස් වාරයක්


සංසාරෙන් සංසාරෙට අපේ                ආදරේ

රන් දියවර සේ ගලා යයි හදේ            ආදරේ

ඔබෙත් පළමු මගෙත් පළමු නොවුණ ආදරේ

එක් වෙන්නට පින් මදි ඇති අපේ       ආදරේ


මල් පෙත්තක සුසිනිදු බව දැනුන දෙකොපුලේ

තොල් පෙතිවල දැවටුන මගෙ දෑත්     සීතලේ

සුසුමක්වත් නොහෙලන ඔබෙ සුමුදු  පපුතලේ

මියැදෙන්නම් තව බෑ මට ඉන්න තනිකමේ



උදේශි--


ප්‍රතිසංවිධානය

                                                           

                                             


                  රටක් සංවර්ධනය වීම සදහා සමාජ ආර්ථික සදාචාරාත්මක යන සිය-ළු අංශයන් සංවර්ධනය විය යුතුමය පෙර පාසල තුලින් අධ්‍යාපනය ලබන සිගිති දරුවා බාලාංශයේ සිට අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සදහා පාසල තුළින් අධ්‍යාපනය ලබන්නේය-පාසල තුලින් විභාගයට මුහුණ දෙන දරුවා ක්‍රමයෙන් ඉහල පන්ති සදහා පියමනියි-මෙහිදි සියළු ශිෂ්‍යයෝ අධ්‍යපනයට එකසේ සමත්කම් දක්වන්නෝ නොවෙති-විභාගය අසමත්වන ශිෂ්‍යයන් තුළ මානසික බිද වැටීමක් ඇති වෙයි-නමුත් ඔහු හෝ ඇය ශිල්පයට දක්ෂ නොවුව ද ක්‍රිඩා අංශයකට හෝ නිර්මාණශීලි අංශයකට සුදක්ෂ විය හැකිය-එහෙත් මෙම අධ්‍යාපන ක්‍රමය තුළ තමාගේ සහජ සුදක්ෂතා හදුනාගෙන ඒවා මැනවින් වර්ධනය කර ගැනීමට නොහැකි වේ-මන්ද අප රට තුළ පිහිටා ඇති පාසල්වල සම්පත් එක සමාන නොවේ-
                    
                     අධ්‍යපන සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් මිදෙන ශිෂ්‍යයා උසස් පෙළ අධ්‍යාපනයට පිවිසෙයි-විද්‍යා කලා වාණිජ  යන අංශයන් ඔස්සේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයා සරසවියට කෙසේ හෝ පියමනින්නට ඉටා ගනියි-නමුත් ශිෂ්‍යාගේ අවාසනාවට හෝ  ජාතියේ අවාසනාවට සරසවියට පියමනින්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයකි-අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍යපෙළ කඩ ඉමෙන් පරාජිත ව මානසික ව ඇද වැටෙන ශිෂ්‍යයා නැවත විභාගයට මුහුණ දීම ප්‍රතික්ෂෙප කරයි-අවසානයේ මෙම ශිෂ්‍යයා අත ඉතිරි වන්නේ අධ්‍යාපන සහතිකය පමණි-මෙම සහතිකය මගින් රජයේ හෝ ප්‍යෙද්ගලික ආයතනයක උසස් තනතුරකට පත් විය හැකිද-වත්මන් අධ්‍යාපනික ක්‍රියාවලිය ප්‍රතිසංවිධානය විය යුත්තේ එහෙයිනි-සරසවි බිමට පියමනින ශිෂ්‍යයා සරසවිය තුළ සිව් අවුරුදු අධ්‍යාපන කාලසීමාවකින් අනතුරු ව උපාධි සහතිකය රැගෙන සමාජයට ඇතුළත් වේ-උපාධි සහතිකය පමණක් ම රැගෙන ආයතනයකට පියමනිනු ලබන ඔහුට හෝ ඇයට උචිත රැකියාවක් ලැබේවිද?උපාධි සහතිකය මගින් ලංකාව තුල කළ හැකි දෙය කුමක්ද? දහස් ගණන් උපාධිධාරිහු පත්‍රිකා ඔසවාගෙන සමාජය නමැති පිස්සන් කොටුවේ උද්ඝෝෂණය කරති-මෙහි අවසානයේ ඔවුනට රැකියාවක් හිමිවේද? නැත්නම් සරසවියේ පියමනින තරුණයා හෝ තරුණිය සමජය නමැති පිස්සන් කොටුවේ තවත් පිස්සෙක් ම පමණක් ම වේද?


ලැබීම් නොලැබීම් හමුවේ ජීවිතය

                                           
                                 


ලැබීම් සහ නොලැබීම් අපේ ජීවිතවල යම් යම් කාල වකවානුවල අඩු වැඩි වශයෙන් පවතින්නකි. දස මසක් මවු කුසයේ රැදී සිට මෙලොවට පා තැබූ දවසේ පටන් ලැබීම් හා නොලැබීම් අපේ ජීවිතවල හර සහ බැර වෙමින් දුක සතුට කඳුල වේදනාව සිනහව කැන්දා ගෙන එයි. මිනිස් ජීවියෙකු ලෙස සියලු වලින් පරිපූර්ණව උත්පත්තිය ලැබීම අප අපගේ ජීවිතයේ ලබන උතුම්ම ලැබීමයි. පෙර කළ පින් මහිමය නිසා එලෙස ලැබුනයි ඇතමෙක් පවසති. එනමුදු එලෙස නොලැබු කී දෙනෙකු නොලැබීම් හමුවේ ජීවිතයට මුහුණ දෙන්නේද
මිනිස් දරුවෙකු ලෙස මෙලොවට පා තැබූ දවසේ පටන් ජීවන ගමනේ ආරම්භය සනිටුහන් වේ. ගලන ගගකට ගල් පර බාධා කරන්නා සේ ජීවන ගංගාව හමුවේ ලැබීම් සහ නොලැබීම් ගල් පර සේ පෙරට එති. සරසවි ජීවිතයේ පා තබමින් පෙරට යන මගේ ජීවිතය තුළ මොහොතක් නැවතී ආපසු හැරී බැලුවොත් ලැබීම් සහ නොලැබීම් ජීවිතයට සරදම් කරන්නේ කෙලෙසද යන්න පසක් කර ගත හැකිය. හද්ද පිටිසර කෘෂි ගම්මානයක ගොවි පවුලක දියණියක ලෙස ජීවන ගමන ඇරඹුවෙමි. 
  තුරු හිස මුදුනේ මල් පලදා
  කැකුලු මුවට මල් පලදා
  ඒ දඩු මං බැඳ සත්කුලු පව් බිඳ
  සිදාදියට එන මං තැනුවා
පිය සෙනෙහේ එබඳු යැයි මම සිතමි. මන්ද ජීවන ගමනේ පා තබන්නට ගත් මොහොතේ ම පිය සෙනෙහස අහිමි වූයේ ජීවිතයේ විසල් නොලැබීම මා හට පසක් කර දෙමිනි. එනමුදු දස මසක් කුස හොවා රන් කිරි කට ගෑ අම්මාගේ ආදරය සෙනෙහස රැකවරණය මා ලද විසල් ලැබීමයි. අකුරෙන් අකුරට ජීවිතය කියා දුන් ඈ ලැබීම් හා නොලැබීම් හමුවේ ජීවිතයට මුහුණ දෙන්නට ශක්තිය වූවාය. ඒ මගේ කතාවයි. එසේ වුවද ඊට වඩා හාත්පසින් වෙනස් වූ කතාවන් සරසවියේ බංකුවකට වී දෑස් යොමන මට දිස් වූයේ හදවත මොහොතකට සසල කරමිනි.
උපතින් ලද දෙපා වාරු නැතිව රෝද පුටුවෙන් දේශන ශාලා වෙත යන සොහොයුරියන් දෑත් දෙකම අහිමි වුව ද කට පුරා සිනා සෙමින් දුව පනින සොහොයුරාත් ශරීරයේ වර්ධකය බාල වී තම සිරුර තමන්ට ම වාරු කරගත නොහැකි ව මෑණියනගේ දෑතේ එල්ලි සරසවියට එන සොහොයුරියත් ලෙස මෙකී නොකී සියල්ලෝම පසක් කරනුයේ නොලැබීම් හමුවේ ජීවිතය හැර දමා යා යුතු ද යන්නයි. නැත කිසිසේත්ම එසේ  නොවිය යුතු ය. දහසක් සිසුන් අතරින් තෝරා ගන්නා ලද අතළොස්සකගෙන් පිරිසක් වීම කෙතරම් ලොකු ලැබීමක් ද එලෙස තැබූ පියවර නොලැබීම් හමුවේ අතහැර නොයා ජීවිතයට අභියෝග කරන ඔවුන් සැබැවින්ම මගේ හදවතේ රැඳුණ අහිංසක වීරයෝ  වෙති. 
 සරසවියේ මා නෙත ගැටුණු හදවතේ රැදුන වරින් වර හදවත පාරන තවත් සිදුවීමක් වන්නේ තරුණ්‍යයේ එළිපත්තේ සිටින මගේ ම සහෝදරියක් ඇගේ රැකියාව ලෙස කම්කරු වෘත්තිය තෝරා ගෙන සරසවියේ සුවද දි දී පිපෙන මල් කැකුළු වලට සාත්තු කරනු දැකීමයි. දහසින් බැදි පියලි ජීවිතයට නොලැබුන ද ඇතම් විට සරසවියේ උගත් යැයි කියා ගන්නා තරුණ පිරිසට ජීවිතය ගැන කියා දෙන පුංචි ගුරුවරියකි. නේක වර්ණ සායම් ගා කළුවර කණ්ණාඩිවලින් ලෝකය දෙස බලන ඇතම් පිරිස්වලට වඩා ඇගේ  ජීවන දැක්ම  විනිවිද යැයි ඈ නෙත ගැටෙන හැම මොහොතකම මට දැනෙයි. උඩු අතට කොණ්ඩය පීරා කරලක් වන්නට ගෙතූ ඇගේ නිරන්තර සිනහව සරසවියට සිරියාවක් ගෙන දෙන්නේ යැයි මට දැනේ.

දෙවිසි හැවිරිදි මා තවමත් ජීවිතය ගැන දන්නේ අබමල් රේණුවක තරම් දෙයකි. එනමුදු ජීවිතයට මුහුණ දෙමින් අත්දැකීම් ලබන්නට පටන් ගත් මා මේ ගත කළ කෙටි කාලය තුළ පසක් කර ගත්තේ ලැබීම් නොලැබීම් ජීවිතයේ පොදු ධර්මතාවයකි. නොලැබීම් හමුවේ හඩා වැටීම් හෝ ලැබීම් හමුවේ උද්දාමයට පත් වීම නොව සියල්ල බුදු ඇසින් බලා සමව දරා ගනිමින් ජීවිතයට මුහුණ දිය යුතු බවයි. සත්තකින් ම ජීවත් වෙනවා කියලා එවිට අපට දැනෙවි.

සොහොයුරු පෙම

මේ ලියමන මේ ලෝකෙ ඉන්න හැම අයියා කෙනෙක්ට ම නංගියෙකුගේ සිතුවිල්ලෙන්........... නංගි කෙනෙකුට අයියෙක්ගේ ආදරය මහමෙරක්...